ටිමා (ටිම්රාන් කීර්ති), පොත්තා (රෝහණ පොතුලියද්ද), ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න සහ දිලිප් කුමාර ලියනගේ මට මුණ ගැසෙන්නේ කිසියම් එක නිම්නයක එක රේඛාවකදීය.
ඒ රේඛාව සිතුවම් කරන්නට පුරෝගාමී වූයේ කැළුම් නවරත්න, මහේෂ් කුමාර සහ ලක්මාල් රණබාහු යැයි මතකය. එකල සමාජවාදී කලා සංගමය ලස්සන මතක මංපෙතකි.
දිලිප් රහ මිනිහෙකි. හදට දැනෙන මිතුරෙකි. නියම මචංවරයෙකි. බදාගෙන හිනාවෙන්නටත් අඬන්නටත් හැකි ආදර සොයුරෙකි.
(මිනිසුන් සමග කතා කරන අතරවාරයේ මිනිසුන්ගේ මුහුණු නිරීක්ෂණය කිරීමේ අමුතු පුරුද්දක් මට ඇත. මේ මිනිහාව දකිනවිට ඒ මුහුණෙන් 'නළු පෙනුමක්' මට පෙනෙයි. ගාමිණී ගතියක්... අන්තෝනියෝ බන්දාරෙස් ගතියක්... බොරුනං බලන්න. එහෙම එකක් තිබේ. එය අතුරු කතාවකි)
අපේ ජීවිත කොතැන කොහොම කෙළවර වේදැයි අප දන්නේ නැත. මතකය නම් වූ මළපොත පෙරැළූ විට මළගිය ඊයේ සිහිපත් කළ හැකි මුත් පැතූ පැතුම් කියා යමක් දෑතේ දසැඟිලි අතර ඉතිරිව නැති බව කීවේ ප්‍රේමකීර්ති ද අල්විස් ය.
එය තවදුරටත් ගයමින් වික්ටර් රත්නායක, සමුදුරු ගිරිහෙල් දෙරණ තලා මැද යව්වන විය පියවර තබනා සඳ හිස්වන හදවිත සපුරාලන්නේ මියැසි විරාමය බව අවධාරණය කළේය.
මගේ හිස්වන හදවිත සපුරාලන්නේ මිතුරු මියැසිය ය. මේ ඒ සොඳුරු එවුන් හැට හැත්තෑවෙන් එකෙකි.
15 окт 2024